දේශපාලන ජීවිතය

Mr. Micheal Hettiarachchi , Sri Nimal's father 
මගේ තාත්තා ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකි. උඩකැන්දවල සරණංකර හිමිගේ ලිපි ඇතුළත් පක්ෂයේ පත්තර හා සඟරා වලින් අපේ කුඩා නිවස පිරී පැවතිණ. තාත්තාගේ වයස අවුරුදු 18 වන විට පයාගල් මග්ගොන් බද්ද ගම්කාර්ය සභාවේ කොමියුනිස්ට් පක්ෂ සභිකයෙකු වූ ඔහු වයස 20 දී එහි උප සභාපතිවරයා වී ඇත. කලූතර දිස්ත‍්‍රික්කයේ කැපී පෙනුණ තරුණ විප්ලවවාදී චරිතයක් හා අතිදක්ෂ කථිකයෙකු වූ ඔහු දොස්තර වික‍්‍රමසිංහ, පීටර් කෙනමන්, ශන්මුගදාසන්, ආදීන් සමීපව ඇසුරු කළේය. වීරසිංහ මල්ලිමාරච්චි , සිරිලාල් කොඩිකාර ආදීන් සමීප මිතුරන් ලෙස බොහෝ කලක් ඇසුරු කළ බව මට මතකය. එකල කවුරුත් මගේ තාත්තාව ඇමතූයේ මයිකල් සහෝදරයා ලෙසය.

1960 ගණන් වල ආරම්භයේ ආණ්ඩුවේ වාමාංශික ක‍්‍රියාකලාපයන් පිළිබඳව ඔහුට දැඩි කළකිරීමක් ඇති විය. ඒ 1960 මාර්තු මහා මැතිවරණයට බේරුවල ආසනය වෙනුවෙන් චන්දය ඉල්ලීමට සූදානම්ව සිටියදී ඔහුගේ නම ඉවත්කොට කලූතර, පානදුර පළාතේ ප‍්‍රසිද්ධ ගුණවර්ධන පවුලක කිසිදු දිනක දේශපාලනය නොකළ ගුණවර්ධන කෙනෙකු බේරුවලට නම් කිරීමට කොමියුනිස්ට් -සමසමාජ මහජන එක්සත් පෙරමුණු හවුල් කණ්ඩායම තීරණය කිරීමයි. රතු දේශපාලනය ද පවුල්වාදයට යටවන බව පවසමින් තම කුඩා නිවසේ දරුවන් සමග තනිවී සිටින මොහොතක ඔහු හමුවන්නට හදිසියේ පැමිණි නන්නාඳුනන දෙදෙනෙකු ඔහුගේ ජීවිතය වෙනස් මගකට යොමු කළේය.

පයාගල, පොතුවිල , වෙහෙරගලකන්ද පන්සල පාරේ පිහිටා තිබූ අප නිවසට වාහනයක් ළ`ගා විය නොහැක. පාරේ නැවැත්වූ ලෑන්ඩි රෝවර් වතු ජීප් රථයකින් බැස නිවස වෙත ඇති අඩි පාර ඔස්සේ පැමිණි තිදෙනාගෙන් කාකි බාච්චු කොට කළිසමකින් සැරසී සිටි පුද්ගලයා එන්.ජී.පී. පණ්ඩිතරත්න නම් අයෙකු බව පසුව හ`දුනාගන්නා ලදී. අමුතු පෙනුමක් තිබූ උස මහත පුද්ගලයා සිරිල් මැතිව් නම් පුද්ගලායකු බවත් අනෙක් කඩවසම් මැදිවියේ පුද්ගලයා චන්ද්‍රා ද සොයිසා නම් වූ බවත් හඳුනාගැනිණ.

ඉරණම් ගමන වෙනස් කළ මේ හමුවෙන් පසු නැවත දිනක චන්ද්‍රා ද සොයිසා මහතා පැමිණ තාත්තාව කොළඹ රැුගෙන ගොස් තිබුනේ කෙලින්ම ජේ.ආර්. ජයවර්ධන හමුවීමටය. බොහෝ දේ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති අංශයේ ක‍්‍රියාකරුවකු හා දේශකයෙකු ලෙස තාත්තා කොල්ලූපිටියේ පිහිටි පැරණි සිරිකොත ගොඩනැගිල්ලේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ සේවයට එක්විය. ඒ 1964 වසරේදීය. එච්.ඞී.ඊ. මයිකල් නම් වූ මගේ පියාගේ නම භාවිතයට පහසු පරිදි එජාපය විසින් වෙනස් කරන ලද අතර ඔහුට හෙට්ටිආරච්චි ලෙස කියමු යැයි යෝජනා කර තිබුනේ ජේ.ආර්. විසිනි. ඉන් පසුව මියයනතුරුම ඔහු මයිකල් හෙට්ටිආරච්චි විය.  1965 මහ මැතිවරණයේ දී දේශපාලන කථිකයෙකු ලෙස එක්සත් ජාතික පක්ෂ මැතිවරණ රැුසිවීම් සිය ගණනක තාත්තාගේ වේගවත් කථා අසන්නට ලැබිණ. කොමියුනිස්ට් පක්ෂය නිර්ධය ලෙස විවේචනය කළ ඔහුගේ කථා අසන්නට බොහෝ දෙනා ප‍්‍රිය කළෝය. පක්ෂයේ ඇතැම් පළාත් රැස්වීම් වල ඔහු ප‍්‍රධාන කථිකයා විය.

1965 මහ මැතිවරණය එජාප ය ජය ගැනීමත් සමග සිරිකොතේ නේවාසිකව සිටින්නට ඔහුට කාමරයක් වෙන් කෙරින. 1969 දී අලූත්ගම විද්‍යාලයේ සාමාන්‍ය පෙල ඉගෙනුම ලැබූ කාලයේදීම පරණ සිරිකොතේ එක්සත් සමවාදී ශිෂ්‍ය සංගමයට සම්බන්ධව ක‍්‍රියාකාරී දේශපාලනයට මා එක්වන්නේ සිරිකොතේ වැඩ කරන හෙට්ටිආරච්චි මහත්තයාගේ පුතා ලෙසිනි. එවකට මට වයස අවුරුදු 15 කි. ඉම්තියාස් බාකීර් මාකර් බේරුවල ශිෂ්‍ය නායකත්වය ගෙන අප මෙහෙයවීය. පාලිත පැල්පොල, විමල් ගුණරත්න, සිතේන්ද්‍ර සේනාරත්න, එහි තනතුරු දැරීය. සිරිකොත මහ ගොඩනැගිල්ල පසුපස මුහුද දෙසට විහිදුනු කාමර පේළියේ පළමුවෙන්ම තිබුනේ වෘත්තීය සමිති අංශයයි. එහි නිතර ගැවසුනු පිරිස අතර සිරිනාල් ද මෙල්, කේ.ඞී. මෙන්ඩිස්, ලෙස්ලි ප‍්‍රනාන්දු , හඞ්සන් සමරසිංහ, ඊ. එම්. සොයිසා ආදීහු මගේ පියාගේ සමීප හිත මිතුරන් වූහ.  

Sri Nimal at Jayasri maha bodhi with Mr.& Mrs. Adhikari in 1976
1974 වසර වන විට මා අළුත්ගම විදුහලේ වෛද්‍ය අංශයෙන් උසස්පෙළ හදාරා ප‍්‍රථම උත්සාහයේ විභාගය අසමත්ව දෙවන වාරයට ඉගෙනුම ලබමින් සිටි යුගයකි. 1974 දී කලාවැව නියෝජනය කළ ශ‍්‍රිලනිප මන්ත‍්‍රීවරයා වූ රත්නමලල හදිසියේ මිය ගියෙන් අතුරු මැතිවරණයක් කැඳවිණි. මුල්‍ය අපහසුතා මැද අධ්‍යාපනය පිළිබඳව කළකිරී සිටි මම අතුරු මැතිවරණ කටයුතු වලට කලාවැව ඒමට කැමතියැයි දන්වා රාණි අධිකාරි සොයුරියට ට ලිපියක් යැවීමි. එහි ප‍්‍රතිපලයක් ලෙස මා එහි කැඳවාගෙන ගිය අධිකාරි - රාණි යුවල මගේ නම ද කුමාර බවට පත් කරවා මැතිවරණ මෙහෙයවීමේ කාර්යාලයීය වැඩ කටයුතු බාර කරවන ලදී. 1974 කලාවැව ආසනය එජාපයේ අධිකාරි ජයග‍්‍රහණය කළ අතර මා ඔහුගේ පාර්ලිමේන්තු ලිපිකරු ලෙස පත් කරන ලදී. පාර්ලිමේන්තුවෙන් එවන ලද නිල හැඳුනුම් පතක්, නිදහස් දුම්රිය, බස්රිය අවසර පත් ද රැගෙන පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පාර්ලිමේන්තු කැන්ටිමේ දිවා ආහාර ගන්නා විට මාගේ වයස යන්තම් 21 පිරුණා පමණි.

Sri Nimal addressing a political rally at Kalawewa

එතැන් සිට 1977 මහ මැතිවරණය දක්වාම කලාවැව ආසනයේ සියළුම ගම් නියම්ගම් මාගේ සුපුරුදු ගමන් වාර වූ අතර තරුණ, ශාඛා, කාන්තා සමිති ප‍්‍රතිසංවිධාන කටයුතු සිදුවූයේ මාගේ අනුදැනුම යටතේ විය. ඒ වන විට රැස්වීම් මෙහෙයවීමේ සිට හෝරා දෙකක පමණ දීර්ඝ දේශපාලන ඇමතීමක් දක්වා මාගේ කාර්යභාරය කලාවැව ආසනය පුරා විහිදී තිබිණ. 1977 මැතිවරණ ජයග‍්‍රහණයෙන් පසුව වාර්මාර්ග, විදුලිබල හා මහාමාර්ග නියෝජ්‍ය ඇමති අධිකාරි මහතාගේ පුද්ගලික ලිපිකරු ලෙස අමාත්‍යාංශයේ සේවය කරද්දී එම අමාත්‍යාංශයේ ඇමතිවරයා වූයේ ගාමිණී දිසානායක මහතාය. දෛවයේ සරදම වූගේ ගාමිණී ඇමතිවරයාගේ පුද්ගලික ලේකම් වූයේ සමවාදී ශිෂ්‍ය පෙරමුණ යුගයේ පටන් එක්ව සිටි පාලිත පැල්පොල මහතා වීමය.
Sri Nimal addressing a political rally at Kamburupitiya. Mr. Upali Wijewardhana also in the stage
Sri Nimal at a rally with Hon. Gamini Dissanayake
පාලිතගේත් මගේත් සමීප හිතවත්කම යළි ඉස්මතුවීමේ ප‍්‍රතිපලය වූයේ  1978 දී නියෝජ්‍ය ඇමති කාර්යාලයෙන් සමුගෙන ඉඩම්, ඉඩම් සංවර්ධන හා මහවැලි සංවර්ධන අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ ප‍්‍රවෘත්ති හා ප‍්‍රචාරක නිලධාරියා ලෙස සේවයට එක් වීමයි. වසර 20 කට වැඩි කාලයක් එතුමාගේ සියළු රැස්වීම් හා නිල උත්සව මෙහෙයවන්නා ලෙස කටයුතු කළ යුගය කිදි දිනක අමතක නොවේ. කඩිනම් මහවැලියේ සියළු ඉදිකිරීම් ඇරඹුමේ සිට අවසන දක්වා දෑසින් දැක බලා ගනිමින් පමණක් නොව බොහෝ අත්දැකීම් විඳිමින් ගත කළ මහවැලි දිවිය 1998 දී අවසන් කරන විට මහවැලි කේන්ද්‍රයේ ප‍්‍රචාරක අංශයේ නියෝජ්‍ය කළමණාකාර තනතුර දක්වා ජීවිතය වෙනස් වී තිබිණ.

2001 පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරීමත් සමග රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක් පිහිටවූ අතර ,  කැස්බෑව අයත් වන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා සංචාරක අමාත්‍යවරයා විය. ඔහුගේ ඇරැයුමෙන් සංචාරක අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ලෙස සේවය ආරම්භ කළ අතර වසරක පමණ කාලයකදීම එම ධූරයෙන් ඉවත් වීමි.  2007 දී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව ශක්තිමත් කිරීමේ අරමුණින් එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා 18 දෙනෙකුගෙන් යුතු එජාප මන්ත්‍රී කණ්ඩායමක් සමග ආණ්ඩුවට එක්විය. ඒ අවස්ථාවේ නවින් දිසානායක මන්ත්‍රීවරයා මහින්ද රජයේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස පත්වූයෙන් එතුමාගේ මාධ්‍ය ලේකම් තනතුර සඳහා ආරාධනා ලැබිණ. වසර 2 ක කාලයකින් එම තනතුරටද සමු දෙන්නට සිදුවූයේ එහෙයියෙකු නොවී කෙලින් කතා කරන්නට යාමේ ප්‍රතිපලයක් වශයෙනි.
Sri Nimal with HE the President J R Jayawardhane

Sri Nimal with HE the President R Premadasa . Dr. Ranjith Athapattu and Prof Thilak Rathnakara also there

No comments:

Post a Comment