1958-59 යුගයේ පාසැල් වල පන්ති ආරම්භ වූයේ 1 වසර, 2 වසර යනුවෙන් නොව පහළ බාලාංශය, ඉහල බාලාංශය, දෙවන පන්තිය ආදී වශයෙනි. මාගේ මව වෘත්තියෙන් වින්නඹු සේවිකාවක වූ හෙයින් ඇගේ සේවා ප්‍රදේශ අනුව අපගේ වාසස්ථානය වෙනස් වීම නිතැතින්ම සිදුවිය. මා ඉපැදී ඇත්තේ ඇය පස්යාල, රදාවඩුන්න ගමේ සේවය කරන කාලයේදීය. උපන්නේ මීරිගම රජයේ රෝහලේ බව උප්පැන්න සහතිකය සනාථ කරයි. කුඩාම වසර කිහිපය ගෙවෙද්දී ඇයට මාරවිල, කොස්වාඩිය ගමේ සේවයට ස්ථාන මාරුවක් ලැබී තිබුණු හෙයින් අපගේ නවාතැන හත්තිනිය ගමේ පුත්තලම් පාර අයිනේම නිවසක් විය. එතැන සිට කොස්වාඩියට එතරම් දුරක් නොවේ. එබැවින් 1959 පමණ 'අ' යන්න කියවා අකුරු කරන්නට මුල්වරට මා ඇතුළු වන්නේ කොස්වාඩිය සරස්වතී මහා විද්‍යාලයටය. අදටද එම පාසැල එලෙසම පවතී. පසුව 1960 වසරේදී මගේ මව රෝගාතුර වීම නිසා මව සේවයෙන් විශ්‍රාම ගන්වා පියා විසින් අප පයාගල, පොතුවිල තම ගමට කැඳවා ගෙන එන්නේය. එහිදී ඉහල බාලාංශය පන්තියට පොතුවිල මහා විද්‍යාලයට ඇතුලත්ව සිටියද, මවගේ රෝග තත්වය බරපතල වූ හෙයින් මහවැව පිහිටි ඇයගේ මහ ගෙදර ට ඇගේ වැඩිහිටියන් විසින් ඇයව කැඳවාගෙන යනු ලැබිණ. එහිදී මා හට මහවැව මහා විද්‍යාලයට 2 පන්තියටම ඇතුළත් වන්නට සිදුවේ. 1961 දී මගේ මව අකාලයේ මිය යන විට මගේ වයස යන්තම් අවුරුදු 6 ක් වූවා පමණි. පසුව 1962 වසරේදී මගේ පියා මා හා අයියා ද කැටුව නැවත පොතුවිල පියාගේ නිවසට පදිංචියට පැමිණෙන අතර යළිත් වතාවක් 3 පන්තිය සඳහා මා හට පොතුවිල මහා විද්‍යාලයට ඇතුළත් වන්නට සිදුවිය. පාසැල් අතර පාවෙමින් සිටි මාගේ අධ්‍යාපනය නිසි මගකට යොමු වන්නේ එතැන් සිටය. 1964 වසරේ 5 පන්තියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින මා ඉන් සමත් වී ඇති බව දැනගන්නේ 1965 දී 6 පන්තියේ ඉගෙනුම ආරම්භ කළාට පසුවය. ශිෂ්‍යත්ව විභාගයෙන් මා සමත්ව තිබූ අතර, අපට සමීපතම මධ්‍ය මහා විද්‍යාලය වූ කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ ඉඩකඩ නොතිබීමෙන් මා යොමු වූයේ මතුගම මධ්‍ය මහා විද්‍යාලයට ය. අද එය සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය වෙයි. මගේ පාසැල් ජීවිතයේ අමතක නොවන කාල පරිච්ඡේදය එයයි. කථික, සංගීත ගායනා ආදී තරග සඳහා යොමු වෙමින් හා ඒවායින් ජයග්‍රහණය කරමින් ජීවිතය නව මගකට යොමුවිය.
1969 වසරේ අග භාගයේදී සාමාන්‍ය පෙළ හැදෑරීමට අලූත්ගම මහා විද්‍යාලයට පැමිණීම මා ජීවිතයේ බොහෝ වෙනස්කම් ඇති කළ සිදුවීමක් විය. කළුතර දිස්ත‍්‍රික්කය අවසන් වූ මායිමේ අලූත්ගම බස් නැවතුම්පල හා දුම්රිය නැවතුම්පල යන ප‍්‍රධාන ප‍්‍රවාහන මධ්‍යස්ථාන දෙකට මැදි වූ කුඩා බිම් තීරුව බොහෝ සිසුන් ගේ ජීවිත වෙනස් කළ දිසාපාමොක් ගුරු ගෙදරක් විය.
එකල ළමා අප කාගේත් සිත් ගත් ‘මිහිර‘ ළමා පුවත්පත කියැවීම සෑම ස`දුදාවක ම උදයේ අපගේ පළමු රාජකාරිය විය. එහි තැනතැන ළමා නිර්මාණ පළ වී තිබූ අතර මා විසින් ද නොයෙකුත් නිර්මාණ කතුවරයා වෙත යවනු ලැබූවත් ඒවා පළ වන බවක් දුටුවේ නැත. දිනෙක මා අතින් ලියැවුණුු දේශාභිමානය පිළිබඳ කවි පංතියක් සුපුරුදු ලෙස කතුවරයාට යවන ලද අතර, එය ඊළඟ සඳුදා දිනයේ ම ‘මිහිර‘ පුවත්පතේ අවසන් පිටුවේ ප‍්‍රමුඛ ලෙස තැනක් දී පළ වී තිබුණි . එය පුවත්පතක පළ වූ මාගේ ප‍්‍රථම සාහිත්‍ය නිර්මාණය යි.
සාමාන්‍ය පෙළ සමත් ව වෛද්‍ය අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටි යුගය අමරණීය කාල පරිච්ඡේදයකි. සාහිත්‍ය සංගම්, විද්‍යා සංගම්, විවාද කණ්ඩායම්, සඟරා සම්පාදක මණ්ඩල, නාට්‍ය කණ්ඩායම් ආදී විවිධ මායිම් ස්පර්ශ කරමින් ඇදී ගිය පාසැල් කාලය නිමා වන්නේ උසස් පෙළ නිසි ලෙස නිමා නො කොට 1974 වසරේ කලාවැව ආසනයේ අතුරු මැතිවරණයේ එ.ජා.ප. අපේක්ෂකයාට සහය වෙමින් දේශපාලන කටයුතුවලට සම්බන්ධ වන්නට පාසැල හැර යාමෙනි.
No comments:
Post a Comment